යුරෝපයේ මධ්‍යතන යුගය 2


වැඩවසම් ක්‍රමයේ ආරම්භය.


‘වැඩවසම් ක්‍රමයට’ නිශ්චිත අර්ථකතනයක් ලබාදීමට අපහසුය. ඇතැමෙක් එය ඉඩම් භුක්තිය හා සේවා සැපයීම මත පදනම් වූ සමාජ ක්‍රමයක් ලෙස අර්ථ දක්වයි. වැඩවසම් ක්‍රමය හිටිවනම බිහිවූවක් නොව. ක්‍රි.ව. පස්වන සියවසේ පමණ සිට සිදු වූ දීර්ඝ කාලීන ක්‍රියාවලියකි.

රෝම අධිරාජ්‍යයට කඩා වැදුණු ගෝත්‍රික ජනයා එහි පැවති ග්‍රීක හා රෝම භාෂාද, සංස්කෘතීන්ද යටපත් කොට, ඔවුන්ට අනන්‍ය වූ සංස්කෘතීන් හා භාෂාවන් එහි ව්‍යාප්ත කරන්නට විය. නමුත් යුරෝපය තුළ මුල්බැසගෙන පැවති ක්‍රිස්තු සභා සංවිධානය බිඳදැමීමට ඔවුන් අසමත් විය. ඔවුන් ක්‍රිස්තු ධර්මය වැළඳ ගන්නට විය. එම නිසා ක්‍රිස්තු ධර්මය පදනම් කරගත්, රෝම ශිෂ්ටාචාරයේ ආභාසයෙන් පෝෂණය වූ ඒත් විවිධ ගෝත්‍රයන්ගේ ආවෙණික ලක්ෂණ සහිත නව සභ්‍යත්වයක් යුරෝපය තුළ වර්ධනය වන්නට විය. එම නව සභ්‍යත්වය තුළ විවිධ ගෝත්‍ර වලට අයත් විවිධ අනන්‍යතා පැවතියද පොදුවේ ගත් කල දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික යනාදි අංශවල සමාන රටාවක් දැක ගත හැකි විය. එකී සමාන ලක්ෂණ සමූහය ‘වැඩවසම් ක්‍රමය’ නම් වේ.

රෝම අධිරාජ්‍යය බිඳ වැටී කෙටි කාලයකින්, ක්‍රි.ව. 800 පමණ බටහිර රෝම අධිරාජ්‍යයේ විශාල ප්‍රදේශයක කැරොලින්ජියන් අධිරාජ්‍ය ව්‍යාප්ත විය. කැරොලින්ජියන් අධිරාජ්‍යය යටතේ දේශපාලන, සමාජ හා ආර්ථික ස්ථාවර බවක් තිබුණි. ක්‍රි.ව. නව වන සියවස වන විට එම අධිරාජ්‍යය පිරිහෙන්නට වූ අතර එසමයෙහිම යුරෝපයට තුන් පැත්තකින් ආක්‍රමණ එල්ල විය.

  • උතුරින් වෛකිංවරු
  • නැගෙනහිරින් හන්වරු
  • දකුණින් මුස්ලිම්වරු



එම ආක්‍රමණ වලට මුහුණ දිය හැකි තරම් ශක්තිමත් රජවරු එකල යුරෝපයේ නොවීය. එම නිසා එසමයේ සිටි වංශාධිපතිවරුන්ට සිය බලය වර්ධන කරගැනීමට හැකි විය. එසේ වංශාධිපතිවරුන්ගේ බලය වර්ධනය වීම සඳහා හේතු දෙකක් බලපෑවේය.

  1. රජවරු සිය රාජ්‍යය ආරක්ශා කරගැනීමට වංශාධිපතිවරුන්ගේ සහය අපේක්ෂා කරන්නට වීම.
  2. සාමාන්‍ය ජනතාවද දුරබැහැර සිටි රජෙකු පිළිබඳ විශ්වාසය තබනවාට වඩා වංශාධිපතිවරුන්ගේ ආරක්ෂාව පතන්නට වීම.


මුස්ලිම් හා වෛකිං ආක්‍රමණ නිසා යුරෝපා රටවල රජවරුන්ගේ ආර්ථික තත්ත්වය පහත වැටෙන්නට විය. ඒ නිසා වංශාධිපතිවරුන්ගේ ආධාර ලබාගැනීමට රජවරු සිය ඉඩම් විශාල වශයෙන් වංශාධිපතිවරුන්ට ප්‍රදානය කරන්නට විය. තවද වංශාධිපතිවරුන්ට අයත් ප්‍රදේශවල අධිකරණ බලතලද වංශාධිපතිවරුන්ටම පවරාදී ඇත. එමෙන්ම සාමාන්‍ය ජනයා වෙනුවෙන් රජයෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටුකිරීමේ වගකීම වංශාධිපතිවරුන්ට පැවරීමට රජවරු කටයුතු කර ඇත.

රෝම අධිරාජ්‍යය බිඳවැටුණු පසු එල්ල වූ විදේශ ආක්‍රමණ හමුවේ රජයේ ආරක්ෂාව නොලැබී අසරණ වූ මිනිසුන් තමා සතු වූ ඉඩම් ධනවත් වංශාධිපතිවරුන්ට පවරා දී ආරක්ෂාව බලාපොරොත්තු වී ඇත. වංශාධිපතිවරුන්ට සිය ඉඩම් පවරාදී, එම ඉඩම් භුක්තිවිඳීම වෙනුවෙන් වංශාධිපතිවරුන්ගේ යටතට පත්වූ මෙම මිනිසුන් ආරක්ෂා කිරීම වංශාධිපතිවරුන්ගේ වගතීමක් විය.



වංශාධිපතිවරු හා රජු අතරත්, වංශාධිපතිවරු හා සාමාන්‍ය ජනතාව අතරත් ඇතිවූ මෙම ගනුදෙනුව සාම්ප්‍රදායානුකූලව ඇතිකරගත් ගිවිසුම් ක්‍රමයකි. වරින්වර එල්ල වූ ආක්‍රමණ වලට මුහුණ දියහැකි දේශපාලන හා ආර්ථික සංවිධානයක් යුරෝපය තුළ එවකට නොතිබුණ බැවින් එම අභියෝගය ජයගැනීමට යුරෝපයේ සමාජය හැඩගැසීමේදී ‘වැඩවසම් ක්‍රමය’ බිහි වූ බව පෙනේ.

ක්‍රි.ව. නව වන සියවසේ සිට පහළොස්වන සියවස දක්වා යුරෝපයේ පැවති මෙම ක්‍රමය සෑම රටකම සමාන ලක්ෂණ සහිතව ක්‍රියාත්මක වී නැත. ජර්මන් ප්‍රදේශවල ගෝත්‍රික ජනතාව ඔවුන්ගේ ආවේණික ලක්ෂණ ආරක්ෂා කරගෙන ඇත. ඉතාලියේ රෝම අධිරාජ්‍ය සමයේ සිට ක්‍රියාත්මක වූ ලක්ෂණ ආරක්ෂාවී ඇත. එංගලන්තයේ ද, ප්‍රංශයේ ද, අයිබීරියන් අර්ධද්වීපයට අයත් රටවල රෝම අධිරාජ්‍යය හා කැරෝලින්ජියන් අධිරාජ්‍යය බිඳවැටීමෙන් පසු ගොඩනැගුණු සභ්‍යත්වය සමානලක්ෂණ වලින් යුක්ත විය. නමුත් ඉතිහාසඥයන් එකල යුරෝපා රටවල පැවති පොදු ලක්ෂණ පදනම් කරගෙන වැඩවසම් ක්‍රමය අර්ථදැක්වීමට උත්සහ කර ඇත. එහිදී වැඩවසම් ක්‍රමයේ උච්චතම අවධිය ලෙස සැලකෙන දොළොස්වන සියවසේ සිට දහතුන්වන සියවස තෙක් ප්‍රංශයේ ක්‍රියාත්මක වූ ක්‍රමය එම අර්ථකතන වලට පදනම්ව ඇත.

  • මැක්ස් වෙබර් - පීතෘ මූලික අධිකාරීත්වයක්
  • ස්ටබ්ස් - රජුගේ සිට සමාජයේ පහළම පුරවැසියා දක්වා සියලු දෙනා ඉඩම් භුක්තිය වෙනුවෙන් ඉටුකළ වගකීම් සමූහයකින් බැඳුණු සමාජ ක්‍රමයක්.


Max Weber - 1918

වැඩවසම් ක්‍රමයේ පොදු ලක්ෂණ

  1. ඉඩම් හිමියා හා ප්‍රවේණිදාසයා අතර සබඳතාව.
  2. ප්‍රාදේශීය මට්ටමේදී පාලනයට අදාල බලතල සියල්ල තනි පුද්ගලයෙකු වෙත පැවරී තිබෙන පුද්ගල බද්ධ පාලන ක්‍රමය.
  3. ජීවනෝපාය සඳහා ඉඩම් භුක්තිවිඳීම වෙනුවට සේවා සැපයීම.
  4. ප්‍රාදේශීය පාලකයන් සතු පෞද්ගලික හමුදා පැවතීම.
  5. ප්‍රවේණිදාසයින් වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් රැසක් ඉඩම් හිමියන් සතුවීම.


ඒ අනුව වැඩවසම් ක්‍රමය යනු

ඉඩම් භුක්තිය හා ඒ වෙනුවෙන් සේවා සැපයීම පදනම් කොටගත් දේශපාලන, සාමාජීය, ආර්ථික හා සංස්කෘතික සංවිධාන ක්‍රමයකි.


Post a Comment

0 Comments