යුරෝපයේ මධ්‍යතන යුගය 1

යුරෝපයේ මධ්‍යතන යුගය හා එහි දේශපාලන තත්ත්වය.


යුරෝපා ඉතිහාසය හැදෑරීමේ පහසුව පිණිස යුග තුනකට බෙදා දක්වයි.
  1. පැරණි යුගය (ක්‍රි.ව. පස්වන සියවස දක්වා අවධිය)
  2. මධ්‍යතන යුගය (ක්‍රි.ව. පස්වන සියවසේ සිට පහළොස්වන සියවස දක්වා අවධිය)
  3. නූතන යුගය (ක්‍රි.ව. පහළොස්වන සියවසින් පසු යුගය)


මධ්‍යතන යුගය (Middle Ages)


දහ හත්වන සියවසේදී පමණ යුරෝපා ජාතීන් තමා ජීවත්වන නූතන යුගයත් ග්‍රීක හා රෝම ශිෂ්ටාචාර පැවති යුගයත් අතර කාල සීමාව හැඳින්වීමට ‘මධ්‍යතන යුගය’ යන යෙදුම මුල් වරට භාවිත කර ඇත. එසේ එම යුගය හැඳින්වීමට විශේෂිත යෙදුමක් භාවිත කර ඇත්තේ එම යුගය ග්‍රීක හා රෝම ශිෂ්ටාචාර පැවති යුගයටත්, දහ හත්වන සියවස පමණ වන විට පැවති යුගයටත් වඩා වෙනස් වූ ලක්ෂණ පෙන්නුම් කළ බැවිනි. එහෙත් එම යුගය එත් යුගයක් ලෙස හැඳින්විය හැකි අන්දමේ පොදු ආවේණික ලක්ෂණ පෙන්නුම් නොකරයි. මධ්‍යතන යුගයේ විවිධ කාලසීමා තුළ දක්නට ලැබූ විශේෂ ලක්ෂණ මත මධ්‍යතන යුගය නැවත කොටස් තුනකට බෙදේ.
  • ප්‍රාථමික මධ්‍යතන අවධිය

                        ග්‍රීක හා රෝම ශිෂ්ටාචාර බිඳවැටීමෙන් අනතුරුව එකොළොස්වන සියවස දක්වා පැවති යුගය මධ්‍යතන යුගයේ ප්‍රථම අවධියයි. ගෝල් දේශය (ප්‍රංශය) කේන්ද්‍ර කොටගෙන ක්‍රි.ව. 800 පමණ සිට සියවස් එකහමාරක් පමණ පැවති කැරොලින්ජියන් අධිරාජ්‍ය  සමය හැර සෙසු කාලසීමාව පුරාම යුරෝපයේ පැවතියේ වියවුල්කාරී තත්ත්වයකි. ඒ නිසා එම යුගය අඳුරු යුගය ලෙස හඳුන්වයි.

  • උච්ච මධ්‍යතන අවධිය

ක්‍රි.ව. එකොළොස්වන සියවසේ සිට දහතුන්වන සියවස දක්වා අවධියයි මධ්‍යතන යුගයේ දෙවන
අවධියයි. යුරෝපයේ නූතන යුගයට මග පෑදූ විශ්ව විද්‍යාල බිහිවීම, වෙළෙඳාම දියුණු වීම, නගර බිහිවීම ආදී සිදුවීම් මෙම යුගය තුළ සිදුව ඇත.

  • පශ්චාත් මධ්‍යතන අවධිය

ක්‍රි.ව. දහතුන්වන සහ පහළොස්වන සියවස අතර අවධිය මධ්‍යතන යුගයේ තෙවන අවධියයි.
මධ්‍යතන යුගය පරිහානියට පත්වී නූතන යුගය ආරම්භ වීම මෙම අවධියේදී සිදු විය.

මධ්‍යතන යුගයේ දේශපාලනය


රෝම අධිරාජ්‍යයට අයත් ප්‍රදේශය විශාල වූ බැවින් පාලනයේ පහසුව පිණිස ඩයක්ලීෂියන් අධිරාජ්‍යා (ක්‍රි.ව.248 – 305) කොටස් දෙකකට බෙදා ඇත. රෝම අධිරාජ්‍යයේ බටහිර කොටස රෝමය කේන්ද්‍ර කරගනිමින්ද, නැගෙනහිර කොටස ‍බයිසන්තියම හෙවත් කොන්ස්තන්තිනෝපලය කේන්ද්‍ර කරගනිමින්ද පැවතී ඇත. රෝමයට බැහැරින් පැවති ජර්මන් හා උතුරු යුරෝපා ප්‍රදේශ වල වාසය කළ අංග්ලෝ, සැක්සන්, වෛකින්, ලොම්බාර්ඩ්, ෆ්‍රෑන්ක්, වැන්ඩල්, විසිගොත්, හන් ආදී ගෝත්‍රිකයින් රෝම අධිරාජ්‍යයට කඩා වැදී එහි පදිංචි වීමෙන් ක්‍රි.ව.476 වන විට බටහිර රෝම අධිරාජ්‍යය බිඳ වැටී ඇත. නැගෙනහිර රෝම අධිරාජ්‍ය තව කලක් ආරක්ෂා වී ඇත.

ක්‍රි.ව. පස්වන සියවසේ සිට සියවස් පහක් පමණ බටහිර යුරෝපයට ගෝත්‍රික කණ්ඩායම් කඩා වැදී ඇත. එම ගෝත්‍රික කණ්ඩායම් පිහිටුවාගත් ජනාවාස මූලික කරගනිමින් ක්‍රි.ව. එකොළොස්වන සියවස පමණ වන විට බටහිර යුරෝපය තුළ රාජ්‍ය කිහිපයක් ගොඩනැගෙමින් පැවතුණි.

  • ඇංග්ලෝ, සැක්සන් සහ ඩේන් ගෝත්‍ර - එංගලන්තය
  • ලොම්බාර්ඩ් සහ ඔස්ට්‍රොගොත් ගෝත්‍ර - ඉතාලිය
  • ෆ්‍රෑන්ක් ගෝත්‍රය - ගෝල් දේශය (ප්‍රංශය)
  • විසිගොත් ගෝත්‍රය - අයිබීරියන් අර්ධද්වීපයේ කුඩා රාජ්‍ය කිහිපයක්.


ක්‍රි.ව. හත්වන සියවසේ පමණ බිහි වූ ඉස්ලාම් ධර්මය වැළඳගත් මුස්ලිම්වරු මධ්‍යම ආසියාව කේන්ද්‍ර කරගනිමින් අධිරාජ්‍ය ගොඩනගා නැගෙනහිර හා බටහිර යුරෝපා ප්‍රදේශ වලට බලය පතුරවන්නට උත්සහ කරමින් සිටියහ. ක්‍රි.ව. එකොළොස් වන සියවස වනවිට යුරෝපය තුළ කිසිදු බලවත් රාජ්‍යක් නොවීය.

Post a Comment

0 Comments