බර්ච් හපයක් හෙළිකළ ප්‍රාග් ඓතිහාසික රහස - සිපගැනීමේ රෝගයෙන් පෙළුණු ඩෙන්මාර්කයේ ලෝලා.

බර්ච් ගසක්

ප්‍රාග් ඓතිහාසික යුගය යනුවෙන් සලකන්නේ ලිඛිත ඉතිහාසය ආරම්භ වීමට පෙර පැවති යුගයයි. එම යුගයේ ජීවත් වූ මානවයා පිළිබඳ මේ වන විට හෙලි කරගෙන ඇති තොරතුරු ප්‍රමාණයට වඩා හෙලි නොවූ ප්‍රමාණය විශාලය. පොළව ගිලගත් එකී තොරතුරු කලින් කලට ලෝකයේ නන්දෙසින් සොයාගැනීමට ගවේෂකයින් සමත් වේ. ඒ සොයා ගන්නා තොරතුරු මානවයාගේ වංසකතාව කලින් කලට යාවත්කාලීන කිරීමට සමත්ය. වසරකට පමණ ඉහත දී පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් ඩෙන්මාර්කයට අයත් දූපතක් වන ලොලන්ඩ් හී සයිල්තෝම් නම් ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍රයේ ගොහොරුවකින් වසර 5,700ක් පමණ පැරණි බර්ච් හපයක් සොයාගැනීමට සමත් විය. මඩ ගොහොරුවේ පවතින නිර්වායු පරිසර තත්ත්වය නිසා මෙකී ඓතිහාසික බර්ච් හපය විනාශ නොවී ආරක්ෂා වී ඇත.
 
හමුවූ බර්ච් හපය


එවැනි බර්ච් හප මීට පෙරද කැණීම් වලින් හමු වී ඇත. මෙම බර්ච් හප සාදා ඇත්තේ බර්ච් ගසක පොත්තක් පුළුස්සා ගනිමින්ය. එලෙස පුළුස්සාගැනීමෙන් කළු - දුඹුරු පැහැති ඇලෙනසුළු ගුලියක් ලැබේ. මෙම බර්ච් හප පුරාශිලා යුගයේ මානවයින් ශිලා පතුරු වලින් සාදාගත් ඊ හිස් ඊතල වලට සවි කිරීමට යොදාගත් බවට මතයක් පවතී. පුළුස්සා ගත් බර්ච් පොතු මෘදු වන තුරු හපන්නට ඇති බව අයෙක් පවසයි. ඇතැමෙක් විශ්වාස කරන පරිදි දත් මුඛ ආශ්‍රිත රෝග සමනය කිරීම සඳහා මෙලෙස බර්ච් හප සාදා හපන්නට ඇත. පිළිස්සු බර්ච් පොතු වල ඇති ප්‍රතිනාශක ගුණය මේ මතය තහවුරු කරයි. නැතහොත් දත් පිරිසිදු කිරීමට හෝ තාවකාලිකව කුසගින්න මැඩගැනීමට ටොෆියක් ලෙස බර්ච් හප භාවිත කරන්නට ඇති බවද සමහරෙක් පවසයි.
 
බර්ච් හපය හමු වූ ඩෙන්මාර්කයට අයත් දූපතක් වන ලොලන්ඩ් හී සයිල්තෝම් ගොහොරුව


කොහොම නමුත් ඩෙන්මාර්කයෙන් සොයාගත් මේ බර්ච් හපය ඉතා සුවිශේෂී එකක් බවට පත්ව ඇත. අතකින් මෙම බර්ච් හපය වැදගත් වන්නේ එය හමු වූ ප්‍රදේශයෙන් මීට පෙර ප්‍රාග් ඓතිහාසික දඩකරු අන්න-ගවේශකයින් (Hunter - gatherer) පිළිබඳ තොරතුරු හමු වී නොතිබෙන නිසාය. අනෙක් අතීන් ඊටත් වඩා සුවිශේෂ කරුණ නම් පෙර හමු වූ බර්ච් හප වල සපන ලද බවට සටන් තිබුනත් පැහැදිලි තොරතුරක් සටහන්ව නොතිබුනද, ඩෙන්මාර්කයෙන් හමු වූ හපයේ මානව ජෙනෝමය ප්‍රතිනිර්මාණය කිරීමට තරම් දත්ත ඇතුළත් වීමයි. (මානව ජෙනෝමය යනු මානවයාගේ සෛල න්‍යෂ්ටියක තිබෙන ක්‍රෝමසෝම යුගල 23 හි DNA වශයෙන් කේතගතවී ඇති සම්පූර්ණ න්‍යෂ්ටික අම්ල රටාවයි.) එම බර්ච් හපයේ තිබී DNA විශ්ලේෂණය කිරීම තුළින් එම හපය හපන ලද තැනැත්තාගේ මානව ජෙනෝමය ප්‍රතිනිර්මාණයට කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් සමත් විය.
 
ඒ අනුව එම ජානයම තොරතුරු විශ්ලේෂණය මගින් බර්ච් හපය හපන ලද තැනැත්තා තරුණියක් බවත්, ඇගේ සම අඳුරු පැහැති බවත්, හිසකෙස් කළු පැහැති බවත්, ඇස් නිල් පැහැති බවත් සොයාගත හැකි විය. ලොලන්ඩ් දූපතෙන් ඇය පිළිබඳ තොරතුරු හමු වූ නිසා ඇයට “ලෝලා” යනුවෙන් අන්වර්ථ නාමයක් ලපා දීමට විද්‍යාඥයෝ කටයුතු කර ඇත. ලෝලාගේ ජාන මධ්‍යම ස්කැන්ඩිනේවියානු දඩකරු අන්න ගවේශකයින්ට වඩා, යුරෝපියානු ප්‍රධාන භූමිය තුළ දිවි ගෙවූ ආදි මානවයාට නෑ කම් දක්වන බව හෙලිව ඇත. තවද ලෝලා හේසල් නම් ගෙඩි වර්ගය හා තාරා මස් අනුභව කර ඇති බවද බර්ච් හපය තහවුරු කරයි. එමෙන්ම ලෝලාගේ පරම්පරාව වන විටද මානවයා කිරි ආහාර දිරවීමට සූදානම්ව නොසිටි බවද තහවුරු කරයි. දඩයමින්, සත්ත්ව පාලනයට හුරු වීමෙන් පසු ලෝලාගේ පරම්පරාවේ අය කිරි ආහාර අනුභවයට හුරුවෙමින් පැවතියේ මේ අවදියේ ය. එහෙත් ලෝලාට කිරි ආහාර සඳහා හුරු වීමට අපහසු වූ බවද බර්ච් හපය විසින් අනාවරණය කර ඇත.
 
DNA වලින් අනාවරණය වූ තොරතුරු මත Tom Bjorklund අඳින ලද සිතුවමක්

බර්ච් හපය පවසන පරිදි ලෝලාට “සිපගැනීමේ රෝගය (Mononucleosis)” වැළඳී ඇත. Epstein - Barr virus නම් වෛරසය හරහා මෙම රෝගය ඇති වන අතර එම වෛරසයේ DNA අනුද බර්ච් හපයේ තිබී හමුව ඇත. නමුත් ලෝලාට සහකරුරවක් සිටියාද යන්න පිළිබඳ බර්ච් හපය කිසිවක් නොපවසයි.

ඩෙන්මාර්කයේ වසර 5,700 ක් පැරණි බර්ච් හපය ජාන විද්‍යා පාර්ශ්වයෙන් නව්‍ය අද්දැකීමක් විය. පෙරදී මානව අස්ථි අවශේෂ මගින් ලබා ගත් නියඳි හරහා ජාන ලබාගෙන පර්යේෂණ සිදු කළ අතර එම නියඳි වල අයහපත් තත්ත්ව හේතුවෙන් බොහෝවිට එම පර්යේෂණ අසාර්ථක වී ඇත. නමුත් මෙම පර්යේෂණය පූර්ණ මානව ජෙනෝමයක් ප්‍රතිනිර්මාණය කළ අතර එය විශ්වසනීය පරීක්ෂණයක් විය.

Post a Comment

0 Comments